HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ගීත සාහිත්‍යය නව මඟකට යොමු කළ ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහ

මේ පොසොන් සමයයි. බුදු සමය ලංකාවට පැමිණීමත් සමග මෙහි එතෙක් පැවති සංස්කෘතියෙහි වෙනසක් ඇති වුණා පමණක් නොව එය නව සංස්කෘතියක් දක්වා දියුණු වුණා. ඒ අනුව අපේ අප බස රැස දෙස ලොකු පිබිදීමකට ලක් වුණා. පොසොන් සමයේ දී අප සමරන්නේ එයයි. පොසොන් බැති ගීවලට පදනම වන්නේ ද එයයි. කලකට පෙර අමුතු ආරක පොසොන් බැති ගීයක් අසන්නට ලැබුණා. සරල බස් වහරින් පරිසර වැනුමක් සමග ඇසුණු ඒ බැති ගීය අපේ මහා ගාන්ධර්වයා වූ අමරදේවයන්ගේ හඬින් ගැයුණක්.

පොසොන් මිහිර

පොසොන් උදාවයි - මිහින්තලාවයි
මිහිඳු හිමිගෙ නාමෙයි - දහම්දිව
නම් දැරු ලංකාවයි

හදවත් ඔදවෙයි - ජීවය ගෙන දෙයි
කවදත් එක වාගෙයි - දිනෙන් දින
සැනසිලි මඟ පාදයි

පොඩි කඳු ගැටයයි - මහ ගිරි මුදුනයි
ගංගා වැව් අසලයි - තැනින් තැන
නගරෙයි ගම්මානෙයි

කිරි කැටි වාගෙයි - මහ සඳ බැබලෙයි
කොත්වල රන් කැල්මයි - අවට නැඟු
කොඩි දදවල සැලූමයි

රෑ සඳ පානයි හේවිසි නාදෙයි
පහන් සිලේ නැටුමයි - මනෝහර
බුදු ගුණ රැඳි ගීයයි

කිණිහිරි ඇසළයි නා කොබො ලීලයි
අරලිය ගස් මුදුනයි - මිහිඳු හිමි
නාමය සිහි කරවයි

එදා පොසොන් සැමරුමට ලියූ ඒ ගීය සිහිපත් කරන්නට අපට සිදු වූයේ මේ පොසොන් සමයේ සිදු කෙරුණු තවත් විශේෂ සමරුවක් නිසයි. ඒ ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ජන්ම ශත සංවත්සරයයි. මෙවර ඒ පිළිබඳ සටහනක් තබන්නට ‘මල් කැකුළු’ අදහස් කළේ ඔහු ගීත සාහිත්‍යයට සිදු කළ ඒ මෙහෙවරට උපහාරයක් ලෙසයි.

පොසොන් මිහිර නමින් ‘ලංකාදීප’ පත‍්‍රයේ පළ වූ ඉහත කවි පන්තිය සුමධුර ගීයක් ලෙස නිර්මාණය වීම අරුමයක් නොවේ. ඔහු ලංකාදීපයට ලියූ හැම පැදියක් ම ගී බවට පත් වුණා. එවකට ඔහු ගෙවමින් සිටියේ සිය දිවියේ තුන් වැනි දසකයයි.

එතෙක් පැවති බැති ගීයේ සම්ප‍්‍රදාය වූයේ ඊට මුල් වූ අසිරිමත් සිදු වීම විස්තර කිරීම වුවද ඔහු මෙහි වෙනසක් ඇති කළා. ඉහත දැක්වූ බැති ගීය හැරෙන්නට ඔහුගේ බොදු ගී රැසක ම මේ ලක්ෂණය දැක ගත හැකි වුණා. අපේ ප‍්‍රථම වර්ණ චිත‍්‍රපටය වූ ‘රන්මුතු දූව’ චිත‍්‍රපටයට ලියූ අමරදේව ඇතුළු පිරිස ගයන ‘බුද්ධ දිවාකරයාණෝ’ යන බැති ගීය අද පොදු බොදු සිදුවීම් හැම එකකට ම නැතිව බැරි අංගයක් වී තියෙනවා.

ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහ වර්තමාන සිංහල ගී සින්දු හෙවත් ගේය පද සාහිත්‍යයේ පුරෝගාමියකු ලෙස හැඳින්විය හැකියි. වසර 51ක් වූ ඔහුගේ කෙටි ජීවිත කාලය තුළ ඔහු පත‍්‍රකලාවේදියකු ලෙස නව ආරක පුවත්පත් කලාවක් ද හඳුන්වා දුන්නා. ‘ලංකාදීප’ය සිංහල පුවත්පත් නව මඟකට ගෙන යද්දී ඔහුත් ඊට උර දුන් පතාක යෝධයෙක්.

ඔහු දකුණු පළාතේ බෙලිඅත්තට නුදුරු පුවක්දණ්ඩාව ගමේ උපන්නේ 1914 ජූනි 19 වැනිදායි. ඔහු මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ බෙලිඅත්තේ ශී‍්‍ර පඤ්ඤානන්ද විදුහලෙනි. ඒ කාලයේ ම ඔහු එම ප‍්‍රදේශයේ ප‍්‍රකටව සිටි ජී.පී. පියදාස කවියාගෙන් කාව්‍ය ශාස්ත‍්‍රය ඇතුළු ප‍්‍රාචීන භාෂා පිළිබඳ දැනුම ලබා ගත් බව සඳහන් වෙනවා.

ඔහු 12 හැවිරිදිව සිටියදී පුවක්දණ්ඩාවේ සාරානන්ද නායක හිමියන් ඇසුරේ පැවිදි බිමට ඇතුළත් වුවද වැඩි කලක් සිවුරේ රැඳුණේ නැත. කතරගම කිරිවෙහෙර අසල විහාරස්ථානයේ කෙටිකලක් සාමනේර නමක් ලෙස වැඩි සිට සිවුර හැර දමා ගිය ඔහු ඊළඟට මීගමුවේ අඟුරුකාරමුල්ලේ පන්සලේ දී යළිත් වරක් පැවිදි වුණා. මෙසේ දෙවරක් ම උපැවිදි වූ ඔහු ඊළඟට කළේ ඉන්දියාවට ගොස් වංග (බෙංගාලි) හා හින්දි භාෂාත් භාරත සංස්කෘතියත් හැදෑරීමයි.

පෙරළා ලංකාවට පැමිණි ඔහු එවකට පැවති ‘හෙළදිව’ පුවත්පතෙහි සංස්කාරක මණ්ඩලයට එක් වුණා. එසේ පත‍්‍රකලාවේදියකු වශයෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු 1944 දී විවාහ දිවියට ඇතුළත් වුණා. ඒ මාතර කපුගම ශී‍්‍රමතී වසන්ත කුමාරි හේවාකළුගමගේ සමගයි. ඔහු ‘ලංකාදීප’ පත‍්‍රය හා එක් වන්නේ 1947 දී එහි ආරම්භයත් එක්කයි. ඔහුගේ නිර්මාණශීලිත්වයේ ඵල නෙළා ගැනීමට සිංහල පාඨකයන්ට අවස්ථාව ලැබෙන්නේ ඉන්පසුවයි.

‘ග‍්‍රැමෆෝන් යුගයේදී අනුකාරක මාවත ඔස්සේ ගමන ආරම්භ කළ ආනන්ද සමරකෝන් එයින් මිදී, අපේ පා බිම තබා ගමන් කළ හැකි ගල් මුල්වලින් තොර මාර්ගයක් ඉදි කළේය. ඒ මාර්ගයෙහි වූ වළ ගොඩැලි ඉවත් කොට, යහපත් මාවතක් ගී සින්දු ලෝකයට තනා දුන්නේ ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහ මහතාය.’ යනුවෙන් මඩවල ඇස්. රත්නායක ඔහුගේ ‘ගී සින්දු සාහිත්‍ය’ නම් කෘතියෙහි සඳහන් කර තියෙනවා. (ආනන්ද සමරකෝන් සූරීන් ගීයට කළ මෙහෙය මීට කලින් ‘මල් කැකුළු’ තුළින් අගය කළා ඔබට මතක ඇති)

මානවසිංහයන්ගේ නිර්මාණශීලිත්වය හඳුනා ගන්නත් ඒ නිර්මාණවල රස උරා බොන්නත් හොඳම මග ඒ නිර්මාණ විමසා බැලීමයි. විවිධ පැතිකඩ ඔස්සේ ඔහු දැක්වූ නිසග ප‍්‍රතිභාව දක්වන්නට නිදසුන් විශාල සංඛ්‍යාවක් ගෙන හැර දැක්විය යුතු වුවත් අපට ලැබී ඇති ඉඩකඩ අනුව නිර්මාණ කීපයක් ඔබේ රසාස්වාදනය සඳහා මෙසේ ඉදිරිපත් කරන්නට අප කල්පනා කළා.


මානවසිංහයන් සිය අදහස් ප‍්‍රකාශනය සඳහා කවීන් විසින් සුලබව භාවිතයට නොගන්නා වදන් යොදා ගැනීමට අති සූරයෙක්. ඒ බව ඔහුගේ හැම නිර්මාණයකින් ම පෙනෙනවා. වෙසක් නිමිත්තෙන් ලංකාදීපයට ඔහු ලියූ මේ පැදි පෙළට එක් කර ඇති වදන් බොහොමයක් එකල භාවිතයට නොගත් ඒවායි. සමහර ඒවා අප දන්නා වදන් වුනත් ඔහු ඒවා මෙහි එක් කර ඇත්තේ එතෙක් නොලද රසයක් ජනිත කරවීමටයි. ඔහු ‘ලංකාදීපය’ට ලියූ බොහොමයක් කවි පළ වූයේ ‘සඳරුවන්’ යන නමිනුයි.    


වෙසක් මිහිර

කුසුම් පිපී අතු පතරේ සතර දිගන්තේ
කෝකිල කූජනය නැගේ මධුර වසන්තේ

ගලන ඇලේ හෙළ පහරේ පෙණ පිඬු පාවේ
පැයෙන් පැයට විසිතුරු සුදු බුදු රැස් ගෑවේ

වන වදුලේ ගස් මුදුනේ පුන් සඳ එළියේ
ඈත පෙනේ ළපළු රැඟුම් මඳ සිලි සිලියේ

නැටෙන ජලේ කමල දලේ දිය බිඳු සෙලවේ
බුදු ගුණ ගීයක තාලය හෙමිහිට මතුවේ

මහ කරුණා මෙත් සිසිලයි සුළඟ ගෙනෙන්නේ
මහමුනි මහමුනි කියලයි කොළ නැටවෙන්නේ

ලේන පැටවු කයිතාලම් ජයට ගයද්දී
කුරුල්ලනේ ගීත ගයවු වෙසක් ලබද්දී

මේ කවි පන්තිය පසුව අමරදේවයන් අතින් ජනපි‍්‍රය ගීතයක් බවට පත් විය. රිද්මයට අනුව වදන් පෙළ ගස්වමින් වෙසක් සමයේ පරිසරයේ ඇති වන චමත්කාරය ඔහු ගෙන හැර දක්වන ආකාරය විස්මය ජනකයි.

මානවසිංහයන්ගේ විශිෂ්ටතම නිර්මාණය ලෙස මහගම සේකර දකින්නේ ‘මහ බෝ වන්නම’යි. අපේ සාම්ප‍්‍රදායික වන්නම්වලට ඇතුළත් වන්නේ සතකුගේ ගමන් විලාස අනුව යමින් කළ නැටුමකට රිද්මය සපයන නිර්මාණයක්. එහෙත් මානවසිංහයන්ගේ ‘මහ බෝ වන්නම’ තුළින් අප දකින්නේ හා අසන්නේ බෝ පත් සුළෙඟ් ලෙළ දෙන අයුරුයි. බෝ ගසක් යට හෙවනේ සිසිලස විඳින්නකුට දැනෙන සිසිලසත්, ඇසෙන පත‍්‍ර සැලෙන සිලි සිලියත්, ඉන් ලද සමාධියත් අත්විඳින්නට සලසනවා.

මහගම සේකරයන් මානවසිංහයන්ගේ නිර්මාණ දකින්නේ මෙහෙමයි: ‘ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහගෙන් ගීතයේ දියුණුවට විශාල සේවයක් සැලසුණා. ගුවන් විදුලියේ ගීත නාටක නිර්මාණය කළේ මොහුයි. ස්වභාව සෞන්දර්ය වර්ණනා කිරීමටත් ජාතිකානුරාගය වඩවන ගීත රචනා කිරීමටත් ඔහු විශේෂ දස්කමක් පෙන්වා තියෙනවා.මහ බෝ වන්නම මානවසිංහගේ හොඳම ගීතය කියල මම හිතනවා. මේ ගීතය ඇහෙන කොට ශාන්ත රසය මිශ‍්‍ර නිරාමිස පී‍්‍රතියකුයි අපට ඇති වන්නේ. මානවසිංහගේ රචනා ශෛලියටත් මේ ගීතය හොඳ උදාහරණයක්. මේක තතන තතනා අයාසයෙන් ගැට ගහපු ප‍්‍රබන්ධයක් නොව නිරායාසයෙන් හදින් උතුරා එන උදාන ගීතයක් වගෙයි අපට ඇසෙන්නෙ.’


මහ බෝ වන්නම

වැලිතල අතරේ හෙමිහිට බසිනා
නේරංජන නදියේ ගයා හිස වැඩ සිට බුදු වුණු දා
තිලෝහිමි මොක් සුව ලද මොහොතේ - සමාධී භාවනා

හිම කඳුවැටියේ සීතල හෙවනේ
චන්දන තරු පීරා හැපී එන මල් මුවරද රසිනේ
සුවඳ මුසු කෝමළ මඳ පවනේ - ගැටීලා පාවෙනා

සත්සර නඟලා - ටික ටික සෙලවී
සිරිමා බෝ හිමිගේ - මනෝහර - පලූපත් අතු රිකිලී
නටා ගිය - තාලයෙහි රස නැඟුණා - සරාගී ජීවනා

සඟමිත් මෙහෙණී දකුණේ ශාඛා
සිරිලක ගෙන ආ දා - සිට ම තව - මහ මෙවුනා උයනේ
නටයි කොළ වන්නම සේ මහ බෝ - සුමීරී නාදෙනා

මීට දසක හතකට විතර ඉස්සර ඔහු කිංස්ලි ජයසේකර ගායකයාට ලියූ පහත දැක්වෙන ගීය ඔහු ලියූ මුල් ම ගීය ලෙස සැලකිය හැකියි. මෙය මවක් හා දරුවෙක් අතර දෙබසක් ලෙස ලියැවුණ ද ඉන් සිතුවම් කර ඇති දර්ශනය අප දකින්නේ ළමා මනසින් මෝදුවී එන බුදු වැනුමක් ලෙසයි. මේ ගීතය ලිවීමට තෝරා ගෙන ඇති විරිතත්, එහි ඇති බස් වහරත් නිසා මෙයින් අසන්නා තුළ අලංකාර චිත‍්‍රයක් මැවීමට සමත් වෙනවා.


මල් මිහිර

මොනවද අම්මේ අකුරු ජාතියක් මල් පෙතිවල කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේව ලියන්නේ පාට පාට ඉරි හැඩ ගහලා

පුතා දන්නේ නැහැ හඳ ඇති කාලෙට වනන්තරේ හරි වැඩ කෙරෙතී
බෝසත්වරු බණ කතා කියද්දී වන දෙවඟනො මල්වල ලියතී

මේ වගෙ ලස්සන පාට අපට නෑ කොතැනින් මේවා ගෙන එන්නේ
කොහොමද අම්මේ මේව ලියන්නේ මට නැහැ මොකවත් තේරෙන්නේ

ඉර පායන කොට ඉර බැස යන කොට පාට වලාකුළු ඇති අහසේ
ඒවායින් මේ මල් පැහැ ගැන්වෙයි ඒව කෙරෙන්නේ හොර රහසේ

අම්මෙ අම්මෙ අර පුංචි කුරුල්ලෝ කිචි බිචි ගා මොනවද කියතී
උන් දන්නව ඇති මේ මල්වල ඇති පුංචි අකුරු නිතරම බලතී

ඔව් මගේ සූකිරි පුංචි පුතේ ඔව් කුරුලූ ගීතවල රස මතුවේ
එක එක තාලෙට කියන කියන ගී මල් පෙතිවල තව තව ලියැවේ

බිම බැලූවත් මල් උඩ බැලූවත් මල් පුංචි කුරුල්ලන් ඉගිලෙනවා
සෑම දා ම ඇයි මෙහෙම ම නැත්තේ මල් ද කුරුල්ලන් කොහි යනවා

බුදු හාමුදුරුවො ඉපදුණු කාලෙට කවදත් ඔහොමයි පුතුනි මගේ
මිනිසුන් වාගෙම සත්තුන් වාගෙම ගහකොළවලටත් සතුට නැෙඟ්

අම්මේ අර අප සාදු කියන කොට බුදු හාමුදුරුවො මල් දැකලා
දුටුව ද ටික ටික හිනැහෙන ලස්සන ඉස්සර කිවු බණ මතක් වෙලා

කිංස්ලි ජයසේකර මෙහි ළමයාගේ හඬත් පි‍්‍රසිලා  ඕපාත මවගේ හඬත් නිරූපණය කළ අයුරු අපට දැනුදු ඇසෙන තරමට මතකයි.

පනහේ දසකය මැදහරියේ ‘ලංකාදීප’යේ පැවත් වූ මව්ගුණ අනුව ලියූ ගී තරගාවලියකින් ජය ගත් මේ ‘අම්මා’ ගීතයක් ඉතා උසස් නිර්මාණයක් ලෙස සැලකිය හැකියි. මෙය ගායනා කළේ ඉන්ද්‍රානි විජේබණ්ඩාරයි.


අම්මා

සොම්නස හෝ සංතාපය හමුවේ
සිහිවේ සිහිවේ අම්මා
කරුණා ගුණයේ සාරය සොයලා
නිම කළ පිළිරුව අම්මා
ආදරයේ බල මහිමේ
රතු ලේ සුදු වූවා
මෑණියගේ සෙනෙහසිනේ
රට ජාතිය සැදුවා
නිල් මිණි රතු කැට
මේවා  ඕනැද  ඕනෑ නෑ ළඟ අම්මා
නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ
නිවසේ දෙවියන් අම්මා
පාවෙන සුළෙඟ් සිසිලස මවමින්
පෙන්වයි සාමය අම්මා
ජීවිතේ පූජාවෙන් පිදුවත් මදි අම්මා

‘සරසවිය’ පුවත්පත වෙනුවෙන් මානවසිංහයන් නිර්මාණය කළ සරසවි අභිනන්දන ගීතයත් ඔහු නිර්මාණ ප‍්‍රභාව මොනවට ප‍්‍රකට කළ අවස්ථාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ ගීතය උපන්නේ ‘සරසවිය’ ප‍්‍රධාන කර්තෘ විමලසිරි පෙරේරා කවියාණන්ගේ උවමනාව මතයි. එකල ‘සරසවිය’ මෙහෙය වූ චිත‍්‍රපට සම්මාන ප‍්‍රදාන උළෙලේ ආරම්භක අංගය ලෙස සරසවි අභිනන්දන ගීතයක් ඉදිරිපත් කිරීමට ඔහුට අවශ්‍ය වූයෙන් ඔහු ඒ සඳහා සිය කලණ මිතුරු මානවසිංහයන්ගේ සහය පැතුවා. එහි ප‍්‍රතිඵලයක් ලෙසයි, අමරදේවයන්ගේ තනුවෙන් හා ගායනයෙන් මේ ගීතය බිහි වුණේ.

මේ ගීතය මුළුමනින් ම නිම වී ඇත්තේ සරස්වතී අභිනන්දනයකට උචිත සකු වදනින්. එහෙත් එහි ගායනය අසන අයකුට එහි බස එය රසවිඳීමට බාධාවක් වන්නේ නැහැ.

සරසවි අභිනන්දන

ජගන් මෝහිණී - මධුර භාෂිණී 
චාරු දේහිනී - කමල වාසිනී
සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවී

අමර භූෂණී - මන්ද හාසිනී
විජය රාජණී - ශාස්ත‍්‍ර ධාරණී
සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවී

කම්පිත කංචන මාලා කුජිත කිංකිණි නූපුර ජාලා
පාද සරෝජේ කටී තාටකේ චංචල නර්තන ලීලා

මීන මකර පංකජ රූපාකුල අංකිත කුංකුම රේඛා
පූර්ණ කුම්භමිව පීන පයෝධර පුරිතාමෘත ධාරා

භාග්‍ය පාදන පුණ්‍ය මුර්තිධර සුරකුලවර අභිරූපා
දේහී දේහී වරදායක හස්තේ සුභ මංගල මුද්‍රා

ශබ්ද රසය පමණක් නොව අර්ථයෙන් අනූන ගීත ද මානවසිංහයන් අතින් ලියැවී තිබෙනවා. ඒ එකක් මෙසේයි:

ගලක කෙටුව පිළිම ඇසේ - ලොව ම තිබෙන සිසිල නැගේ
අමා සාගරේ රළ පෙළ - ඉවුරුවල හැපේ

ජලකර අවි තරගය ඇයි - මිනිහට මිනිහා සැකයි
බියපත් ලොව තතු දුටුවේ - ගලින් නෙළුෑ මේ ඇසයි

අනන්තානන්තය වසා ගෙන පැවතුණේ
සාන්තියේ කාන්තියයි මේ ඇසින් මතු වුණේ

වෙනසක් නොබලා දෙව දෙව කාටත් යදී දුගී මගී
පොතකින් කිව නොහැකි ලෙසට පළ වෙයි මේ ඇස ඇඳී

බල වේගය වෙසින් ගෙනෙන බල ලෝභය යටි සිතේ
මිනිසුන්හට පලය කිමෙක මෙත් කරුණා මුදු නෙතේ

වනේ කුරුලූ නිදහස් ගී රසය සමග වෙළි වෙළී
මේ නෙත මෙත් ඉතිරේවා සමාධියේ ගැලි ගැලී

මේ නෙත් යුග කිලූටු නොවී කුහක දනන්ගෙන් ලොවේ
වැල් ගොමු යට කොටි වලසුන්ගෙන් සුරැකෙයි වන ගැබේ

මේ ගීතයත් අමරදේවයන් විසින් ගයන ලද්දක්. මේ ගීය තුළින් ඔහු සියුම් ලෙස සමාජය දෙසට උපහාසයක් එල්ල කරනවා. කැලෑවක ඇති සෙල් මුවා බුදු පිළිමයක ඇසක් වස්තු කොට ගෙන ලියා ඇති මේ ගීතයෙන් මිනිසා තුළ දැවෙන තණ්හාව හා බලලෝභීකම ඒ බුදු නෙත කල් තියා දුටු බව කියවෙනවා. ඉන් පලක් නොලබන මිනිසා ගැන කලකිරුණු එය වැල් ගොමු හා කොටි වලසුන්ගෙන් ආරක්ෂාව ලබමින් තැන්පත් හිඳිනා බව වක් මගින් කියනවා.

එකල ගුවන් විදුලියට එක් වූ නව ආරක ගීත විශේෂාංගයක් හැඳින්වුණේ ‘ගීත නාටක’ කියායි. 1955 දී ආරම්භ වූ මේ විශේෂාංගය ගුවන් විදුලියට එතෙක් එක් නොවූ විරූ නවාංගයක් ලෙස නිර්මාණය වූ එහි රචකයා මානවසිංහයි. සංගීත රචනය ඩන්ස්ටන් ද සිල්වාගේ වූ අතර නිෂ්පාදනය කළේ තේවිස් ගුරුගේයි. මේ සඳහා මුලින් ම රචනා කළ මනෝහාරී ඇතුළු ගීත නාටක සියල්ල ම නිර්මාණය කළේ මානවසිංහයි.

එහිදී මානවසිංහ ‘උල්පත’ ගීත නාටකයට ලියූ මේ පහත සඳහන් සංවාදය මලය හා චම්පා අතර සිදු කෙරෙන හුදු පේ‍්‍රම සංවාදයකටත් වඩා සොබා සුන්දරත්වය මතු කර පෙන්වන අපූරු කවි සංකල්පනාවක් ලෙස දැක්විය හැකියි. මෙය මනා සංයමයෙන් යුතුව ධවනි රසයත්, උපමා රූපකත් ගළපා රස පූර්ණ නිර්මාණයක් ලෙස හැඳින්විය හැකියි.

මලය:    පේ‍්‍රමතටාකේ මේකයි මැණිකේ
    ආදර රැල්ලයි අර දිව යන්නේ
    අබිමන් අබිමන් කියලයි මැණිකේ
    ඒ රැුලි මේ වැව් ඉවුරෙ හැපෙන්නේ

චම්පා:    මාගේ පෙම් කෝකිලයෝ ඔබෙ ගීයේ
    තාලෙට නොවැ දිය සුළි කැරකෙන්නේ
    පියුමට පියුමක් හැපෙනව දැකලයි
    හංස පැටවු මේ හැටි දඟලන්නේ

මලය:    චම්පා චම්පා කියලයි මැණිකේ
     ඕලූ මලේ අර පෙති නැටවෙන්නේ
    ඔබෙ ඉඟ මෙවුලේ මිණිකැට දැකලයි
    මාළු පැටව් මේ දිව ගෙන එන්නේ

චම්පා:    හිමියනි ඔබගේ පුළුලූර තලයෙහි
    වැව් ඉවුරෙහි නැත වෙනස පෙනෙන්නේ
    මගෙ පෙම් දහරයි සීතල ජලයයි
    එක විදියට නොවැ පිරී තියෙන්නේ

මලය:    අනාගතේ මෙහි පෙම් රස විඳිනා
    හදවත්වලටයි රසය දැනෙන්නේ
    ඒකයි මැණිකේ මේ වැව දකිනා
    කොයි මොහොතෙත් මට සුවය දැනෙන්නේ

මෙවන් රස පූර්ණ ගීත ඇතුළත් ගීත නාටක රාශියක් නිර්මාණය කළ මානවසිංහ එක් වරම හදිසියේ ම ගුවන් විදුලියට ගීත නාටක ලිවීම නතර කර දැම්මා. ඒ තමාගේ නව නිර්මාණයක් වූ ගීත නාටක ලිවීමට තවත් අයටත් අවස්ථාව ලබා දීමට ගුවන් විදුලියේ පාලන අධිකාරිය තීරණය කිරීමත් සමගයි. ඒ නිසා ඔහුගේ නිර්මාණවල අපූර්වත්වය දකින්නට ඉන්පසු අවස්ථාවක් සැලසුණේ නැත.

වසර දසක දෙකක් වැනි කෙටි කාලයක් තුළ මානවසිංහයන් ගීතයට කළ මෙහෙය වෙනත් කිසිවකු නොකළ තරම් විශාලයි. අනූපමයි. අද මේ නිර්මාණ බොහොමයක් පොත් වශයෙන් පළ වී තියෙනවා. ඒ නිසා නව නිර්මාණකරුවන්ටත් ගී රස විඳින්නන්ටත් ඉන් ලද හැකි ප‍්‍රයෝජනය අති මහත් බව කිව හැකියි.

Post a Comment

1 Comments

  1. Mehi sadahan somnasa ho santapaya rachana karanu labuwe manawasingha surin nowe.sarath wimalaweerayanya.

    ReplyDelete