HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝක කි‍්‍රකට් පිටිය වර්ණවත් කළ දැවැන්තයා, ටෝනි ග්‍රෙග් ජීවිතයෙන් සමු ගනියි!

ටෝනි ග්‍රෙග්ගෙ ලොකු බැඳීමක් තිබුණා, ශී‍්‍ර ලංකාවත් එක්ක. ඔහු මෙහි කි‍්‍රකට් විස්තර විචාරවලට ආවාම මෙහෙදි කරපු කියපු දේ ගැන නිසා අපෙත් ලොකු බැඳීමක් තිබුණා, ටෝනි ග්‍රෙග් එක්ක. ඔහුගේ කි‍්‍රකට් විස්තර අහලා ටීවී එකෙන් කි‍්‍රකට් තරග බලන්න පෙලඹුණු අය ගැන මං දන්නවා. ඒ තරම් අපූරුවට අපේ පපුවට දැනෙන විදියට කි‍්‍රකට් ගැන කියා දුන්න වෙන කෙනෙක් නෑ. අපේ සනත් ජයසූරිය ගැන, කළුවිතාරණ ගැන ඔහු තරම් ලස්සනට කතා කළ කෙනෙක් ලෝකයේ වෙනත් කි‍්‍රකට් විචාරකයන් අතර විතරක් නෙවෙයි අපේ අය අතරවත් හිටියෙ නෑ.


එයා කි‍්‍රකට් ගහන කාලේ එයාට වඩා උස තවත් කෙනෙක් හිටියෙ නෑ. මීටර දෙකකට සෙන්ටි මීටර දෙකයි අඩුව තිබුණේ. ඔහු ඇත්තෙන් ම කි‍්‍රකට් ලොවේ දැවැන්තයෙක්.

මාස දෙකකට විතර ඉස්සෙල්ලා එයාට පෙණහල්ලේ පිළිකාවක් තියෙනවා කියලා සොයා ගත්තා. පසුගිය නොවැම්බරයේ සැත්කමක් කළා. 2012 දෙසැම්බර් 29 වැනිදා වයස අවුරුදු 66 පිරෙන්නත් ඉස්සරින් හෘදයාබාධයකින් ඔහුගේ මරණය සිදු වුණු බව ආරංචි වුණා ම මට එක්වරම හිතුණෙ කි‍්‍රකට් විචාරකයෙක් හැටියට ඔහු පුරවපු හිඩස පුරවන්න කෙනෙක් නෑ නේද කියලයි.


ඔහු ටෝනි ග්‍රෙග් කියලා හැඳින්නුවාට ඔහුගේ සම්පූර්ණ නම ඇන්තනි විලියම් ග්‍රෙග්. ඔහු උපන්නේ 1946 ඔක්තෝබර් 6 වැනිදා දකුණු අපි‍්‍රකාවෙ ක්වීන්ස්ටවුන්වල. ඔහුගේ දෙමාපියන්ගේ ස්කොට්ලන්ත ජාතික සම්භවය නිසා එංගලන්ත පිලට කී‍්‍රඩා කරන්න වරම් ලැබුණා. ඔහු එංගලන්තෙ වෙනුවෙන් ටෙස්ට් තරග 58කට කී‍්‍රඩා කරල තියෙනවා. තරග 14කට නායකත්වය දීල තියෙනවා. ඔහු ටෙස්ට් ලකුණු 3,500කට වැඩිය රැස් කරල තියෙනවා. විකට් 141ක් බිඳ හෙළලා තියෙනවා. ඒ 1972-1977 කාලයෙදි. ඔහු එංගලන්තයෙ නායකත්වය අත්හැරියේ ඕස්ටේ‍්‍රලියාවේ ධනකුවේරයකු වූ කෙරී පැකර් ආරම්භ කළ ලෝක කි‍්‍රකට් තරගාවලියට එක්වීම පිණිසයි. මිය යන විට ඔහු ඕස්ටේ‍්‍රලියාවේ චැනල් නයින් නෙට් වර්ක් එකෙයි සේවය කළේ.


දකුණු අපි‍්‍රකාවෙ ඉපදිලා එංගලන්තෙ කි‍්‍රකට් සෙල්ලම් කරලා ඕස්ටේ‍්‍රලියාවෙ ජීවත්වෙමින් ලෝක කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනුවෙන් ඔහු කළ මෙහෙය අනූපමේයයි.

දශක කීපයකට පෙර ඕස්ටේ‍්‍රලියාවේ ඉංගී‍්‍රසි පුවත්පතකට ලෝක එක් දින තරග ආරම්භය ගැන ඔහු ලියූ ලිපියේ සිංහල අනුවාදය මෙසේ ඉදිරිපත් කරන්නේ ඔහුට උපහාරයක් ලෙසයි.

කි‍්‍රකට් වෙනස් කළ එක් දිනය (One Day That Changed Cricket)

පළමුවන සීමිත ඕවර කි‍්‍රකට් තරගය අහම්බෙන් ඇති වූවක්. එය කී‍්‍රඩා කළේ ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බෝන් කි‍්‍රකට් පිටියේදියි. ඒ 1971 ජනවාරි 5 වැනිදා. එය කී‍්‍රඩා කරන්න සිදු වුණේ 1970-1971 ඔස්ටේ‍්‍රලියානු ගිම්හාන සමයේ පැවත්වීමට නියමිත ව තිබූ දින පහේ ටෙස්ට් තරගයට අයහපත් කාලගුණයෙන් ඇති වූ බාධා නිසා නවත්වන්නට සිදුවීමේ හේතුවෙනි.


ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් හා එම්සීසී කණ්ඩායමේ එවර සංචාරයේ කළමනාකරු ඬේවිඞ් ක්ලාක් යන දෙදෙනා තමයි, මේ අදහස ගෙනාවේ. එදා ටෙස්ට් තරගය නැරඹීමට වික්ටෝරියානු ප‍්‍රාන්තයේ නරඹන්නන් අති විශාල පිරිසක් කී‍්‍රඩාංගනයට රැස්ව සිටියා. ඔවුන්ට උපහාරයක් හැටියට සීමිත ඕවර තරගයක් පවත්වමුයි, ඒ දෙදෙනා යෝජනා කළා.

ඒ තරගයේ දී එක් පන්දුවාරයකට 8 බැගින් පන්දු වාර 40ක් එක් පිලකට හිමි වුණා. මේ අලූත් පියවර නිසා එදා මෙල්බෝන් පිටියට රැස්ව සිටි 46,000 පමණ වූ නරඹන්නන්ට කිසිදාක නොලද රසවත් අත්දැකීමක් විඳ ගන්නට අවස්ථාව ලැබුණා. කි‍්‍රකට් කී‍්‍රඩාව වෙනස් කළ ‘එක් දිනය’ මෙල්බෝන් නගරයට උදා වූයේ එහෙමයි. කවදත් ඕස්ටේ‍්‍රලියාවේ වැඩිම කි‍්‍රකට් නරඹන්නන් පිරිසක් සිටින මෙල්බෝන් නගරය එයින් ඉතිහාසයට එක් වුණා.

එදා ලොව ප‍්‍රථම එක් දින තරගය පැවැත් වුණේ එංගලන්තයේ රේ ඉලිංවර්ත්ගේ පිලත් ඕස්ටේ‍්‍රලියාවේ බිල් ලෝරිගේ පිලත් අතරයි. ඒ තරගය ජය ගත්තේ ඕස්ටේ‍්‍රලියානු පිලයි. ඒ අනුව 1877 දී එංගලන්තයත් ඕස්ටේ‍්‍රලියාවත් අතර පැවති ප‍්‍රථම ටෙස්ට් තරගය මෙන් ම ඊට වසර 94 කට පසු පැවැත් වූ ප‍්‍රථම සීමිත ඕවර තරගයත් දිනා ගැනීමේ භාග්‍යය ඔස්ටේ‍්‍රලියානුවන්ට හිමි වුණා. එංගලන්ත පිලේ ආරම්භක පිතිකරු වූ ජෝන් එඞ්රිච්ට තරගයේ වීරයා සම්මානය හිමි වුණේ ප‍්‍රථම සීමිත ඕවර ලකුණු පනහ වාර්තා කිරීම නිසයි.

මෙල්බෝන් නගරයේ පැවති ඒ ‘බිග් මැච්’ එකෙන් වසර 16කට පස්සෙ තමයි, එංගලන්තයේ කී‍්‍රඩා සමාජ අතර සුහද එක් දින තරග පවත්වන්න පටන් ගත්තේ. ඉරිදා සවස් වරුවේ පැවති මේ තරග ඉතා ජනපි‍්‍රය වුණා. ‘රොත්මන්ස් ඔෆ් පෝල්මෝල්’ බැනරය යටතේ අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන් ද විවිධ කී‍්‍රඩා සමාජවලට එක් ව සිටියා. මේ තරග සජීවීව ටෙලිවිෂනයෙන් ද පෙන්වනු ලැබුවා. මේ සීමිත කි‍්‍රකට් තරග නරඹන්නන් ඉතා ජනපි‍්‍රය වූ නිසා එංගලන්ත කි‍්‍රකට් බලධාරීන් තීරණය කළා ප‍්‍රථම නිල එක් දින තරගාවලියක් අරඹන්න. එය හැඳින්වුණේ ‘1963 ගිලට් කප්’ කියායි.

එදා 1971 දී ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බෝන් කි‍්‍රකට් පිටියේදි අන්තර්ජාතික කි‍්‍රකට් සඳහා නවයුගයක් උදා වුණා. ඒ පිළිබඳ නොයෙක් වාද විවාද ඇති වුණා. සමහරුන් කීවා එක් දින කි‍්‍රකට් නිසා ටෙස්ට් තරගවලට ඇති උනන්දු නැති වේවි. කි‍්‍රකට් කී‍්‍රඩාවේ ශෛලියට, එහි ඇති ජීව ගුණයට හානි වේවි කියලා. අදටත් මේ විවාද පවතිනවා. මේ අදහස මුලින් ම යෝජනා කළ ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් හා ඬේවිඞ් ක්ලාක් වික්ටෝරියානු ජනතාවට උපහාරයක් දක්වන්නැයි ඔවුන් කළ ඉල්ලීම නිසා මේ තරම් වෙනසක් කි‍්‍රකට්වල සිදු වේවි කියා එදා නිකමටවත් හිතුවාද කියා මා දන්නේ නෑ.

එක් දින තරග නරඹන්නන් අතර වඩා ජනපි‍්‍රය වීමට හේතු වූයේ ටෙස්ට් කි‍්‍රකට්වල නිතර දක්නට ලැබුණු ජයපරාජයෙන් තොර ප‍්‍රතිඵලය වෙනස් කළ නිසයි. රූපවාහිනියෙන් සජීවීව විකාශනය වීම නිසාත් එහි ආකර්ෂණය තවත් වැඩි වුණා.

1975 දී අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය එක් දින කි‍්‍රකට් සඳහා ‘පෘඩෙන්ෂල් වර්ල්ඞ් කප්’ යනුවෙන් ලෝක කුසලාන තරගාවලියක් ආරම්භ කළා. ඒ සඳහා වෙනම උප කමිටුවක් ද පත් කෙරුණා. එය අද දක්වා ම පවතිනවා. මේ තරගාවලිය පැවැත් වුණේ එංගලන්තයේදියි. එය අතිශයින් සාර්ථක වුණා. කි‍්‍රකට්වල නව පිබිදීමක් ඇති වුණා. එහිදීත් ඕස්ටේ‍්‍රලියාව අවසාන තරගය දක්වා ආවත් අවසානයේ දී ඒ මුල් ම ලෝක කුසලාන දිනා ගත්තේ බටහිර ඉන්දීය කොදෙවු පිලයි.

ලෝක කි‍්‍රකට් තරගාවලියක් මුලින් ම ඕස්ටේ‍්‍රලියාවේ පැවැත් වුණේ 1977දියි. එක් දින තරග විකාශය ඉතා ප‍්‍රශ්ත මට්ටමෙන් රූපවාහිනියෙන් සිදු කරන්නට පටන් ගත්තේ ඒ කාලෙදියි. ඒ කාලේ පැවති එක් දින තරගවල දී එක් පිලකට පන්දුවාර 50 බැගින් තරගයකට පන්දුවාර 100ක් ඇතුළත් වුණා.

එක් දින තරගවලදී සිදු වූ ලොකුම වෙනස ආවේ මෙල්බෝන් නගරයේ වීඑෆ්එල් පිටියේ දී රාති‍්‍ර කි‍්‍රකට් තරග හඳුන්වා දීමත් සමගයි. පසුව ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි කි‍්‍රකට් පිටියේ දැවැන්ත විදුලි ආලෝක කුලූනු ඉදි කිරීමක් සමග ඉතිහාසයේ තවත් පිටුවක් පෙරළුණා. ඉන්පසු සීමිත ඕවර රාති‍්‍ර කි‍්‍රකට් සඳහා ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බෝන්, පර්ත් හා ඇඩිලේඞ් කී‍්‍රඩා පිටිත් පසුව බි‍්‍රස්බේන් පිටියත් එක් වුණා.

(පර්සි ජයමාන්නගේ ප‍්‍රධාන සංස්කාරකත්වයෙන් ‘1999 ලෝක කුසලාන’ නිමිත්තෙන් ‘අභියෝගය’ නමින් පළ වූ ලේක්හවුස් ආයතනයේ විශේෂ ප‍්‍රකාශනයෙනි.)








Post a Comment

0 Comments