HOT

    Loading......

Header Ads Widget

Buy Nasrudin Books

හිග්ස්ගේ ‘දේව අංශුවෙන්’ පසු ඊළඟට කුමක්ද? විද්‍යාඥයෝ දක්ෂිණ ධ්රුවයේ අඩි 8000ක් පොළෝ ගැබ යට රැඳ වූ යෝධ දුරේක්ෂයක් යොදා ගෙන තවත් අබිරහස් අංශුවක් සොයති!

මේ අභිරහස් අංශු සොයා ගතහොත් එයින් ලෝකයේ සම්භවය, විශ්වය තැනුනු අයුරු කෙබඳුදැයි විසඳා ගත හැකි වේවි.

මේවා හසු කර ගත හැකි මෙගා අනාවරකයක් දැන් නිපදවා තියෙනවා. අයිස් කියුබ් (IceCube) යනුවෙන් නම් කර ඇති මෙගා අනාවරකය, දක්ෂිණ ධ්රුවයෙහි හිම තට්ටුව විද ඒ යට මීටර් 2820ක් (අඩි 8000ක්) ගැඹුරේ මෙය ඉදි කරන්නට වසර 10ක් පමණ ගත වුණා.

ලෝකයේ ලොකුම දුරේක්ෂය ලෙස විද්‍යාඥයන් සලකන, දක්ෂිණ ධ්රුවයේ පොළොව යට වළලා ඇති මේ අපූරු උපකරණය යොදා ගෙන සොයන්නේ ‘නියුට්රිනෝ’ (neutrinos) නම් ගුප්ත අංශු විශේෂයක්.

 
මේ ලෝකයේ විශාලතම නියුටි‍්‍රනෝ නිරීක්ෂණාගාරයෙහි ඇති ‘අයිස් කියුබ්’ නම් මෙගා අනාවරකය වෙත යන ‘සංඛ්‍යාංක ප‍්‍රකාශ මොඩියුලය’ (Digital Optical Module - DOM) මෙයයි. මෙය ඉදිකර ඇත්තේ ඇන්ටාක්ටික් තුන්ද්‍රා ප‍්‍රදේශය යට පොළොව යටයි. මෙය ඉදි කර ඇත්තේ දක්ෂිණ ධ්රුවයේ පිහිටි ඇමරිකානු අමුන්ඞ්සන්-ස්කොට් කඳවුර අසලයි.

 
ලෝකයේ විශාලතම නියුටි‍්‍රනෝ නිරීක්ෂණාගාරය. එහි අයිස්කියුබ් අරාවට බැඳුණු සංවේදක රැහැන් තියෙනවා. ඒවා අයිස් තට්ටුවෙහි ගැඹුරට විදින ලද සිදුරු තුළට යවනවා. එහි මතුපිට පහළින් ඇති අයිස්ටොප්හි ස්තර දෙකක අනාවරකයන් තියෙනවා. මේ රූප සටහනේ පහළින් අයිපල් කුලූන දක්වා ඇත්තේ මේ උපකරණ පද්ධතියේ විශාලත්වය ගැන ඔබට අදහසක් ගැනීමටයි.

ඒ උපකරණය තැන්පත් කර ඇති පොළොව යට කුටීරය ඝන කිලෝමීටරයක් පමණ වෙනවා. එය ප‍්‍රමාණයෙන් එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලට, චිකාගෝ විලිස් කුලූන, චීනයේ ෂැංහයිහී පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ආදී ගොඩනැගිලිවලට වඩා ලොකුයි.

පුපුරන තරුවලින් විමෝචනය කෙරෙන, එහෙම නැත්නම් විහිදුවන, නියුට්රිනෝ නිරීක්ෂණය කරන්නයි, මෙය සැලසුම් කර තියෙන්නෙ. මේ නියුටි‍්‍රනෝ අංශු ගමන් කරන්නේ ආලෝකයේ වේගයට ආසන්න වේගයකින්. දෙසතියකට පෙර විශ්වයේ තැනුම් ඒකකය ලෙස සැලකෙන හිග්ස් බොසොන් අංශු සොයා ගැනීමත් සමග මේ දුරේක්ෂය කෙරෙහි විශේෂ අවධානයක් යොමු වුණා.

”ඔබ ඇඟිල්ලක් ඔසවන්න. හැම තත්පරයකට ම නියුට්රිනෝ බිලියන සිය ගණනක් ඒ ඇඟිල්ල පසු කර ගෙන යනවා. ඒවා එන්නේ සූර්යයාගෙන්.” මෙහෙම කියන්නේ නවසීලන්ත විශ්ව විද්‍යාලයේ ජෙනී ඇඩම්ස්. ඇය දැනට අයිස්කියුබ්හී සේවය කරනවා.

මේ අයිස්කියුබ් කියන්නේ ආලෝකය අනාවරණය කර ගත හැකි රෑහැන් විශේෂයක්. ඒවා උණු වතුරවලින් නිර්මිත විදින කටුවක් මගින් අයිස් තට්ටුව විද ඒවා තුළට නියුට්රිනෝවලට යාහැකි පරිදි සකසා තියෙනවා. හැම තැනම විසිර ඇති නියුට්රිනෝ මේ තුළින් ගොස් අයිස් හා ප‍්‍රතිකි‍්‍රයා කර ආරෝපිත අංශු නිපදවනවා. ආලෝකය නිපදවෙන්නේ එවිටයි. ඒවා අනාවරණය කර ගන්න පුළුවන්.

මෙහිදී අයිස් කි‍්‍රයා කරන්නේ නියුට්රිනෝ වෙන් කරන දැලක් වාගෙයි. එවිට ඒවා නිරීක්ෂණය කිරීම පහසු වෙනවා. ඒ වගේ ම එයින් විකිරණවලින් විය හැකි හානිවලින් දුරේක්ෂය ආරක්ෂා වෙනවා.

”අපේ මන්දාකිණියෙහි ඇති සුපර්නෝවා එකක් විනාශ වුණොත් අපට සිය ගණනක් නියුට්රිනෝ හඳුනා ගන්න පුළුවන්, අයිස්කියුබ් එකෙන්.” ඇඩම්ස් වාර්තාකරුවන් අමතා මෙසේ කීවේ ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බෝන් නගරයේ පැවති අධි බලශක්ති හෞතික විද්‍යා අන්තර්ජාතික සම්මේලනයකදියි.

”අපට ඒවා වෙන වෙනම දැක ගන්න හැකියාවක් නැහැ. ඒත් ඒවායින් මේ අනාවරකය සම්පූර්ණයෙන් ම ආලෝකමත් වෙනවා, හරියට ගිනිකෙළි සංදර්ශනයකදි වගේ.” ඇය කීවා.

 
අයිස්කියුබ් දුරේක්ෂය හරහා යන ‘චෙරන්කෝ ආලෝක කේතුව’ ගමන් කර ආකාරය ඉහළ රූපයේ චිත‍්‍රශිල්පියකුගේ ඇසින්.

විද්‍යාඥයන් උත්සාහ කරන්නේ මේ අංශු අල්ලා ගෙන ඒවායේ ආරම්භය සිදු වූ තැනට යන්නයි. ඔවුන් බලාපොරොත්තු ඒවා මගින් අභ්‍යවකාශයේ සිදුවන දේ ගැන ඒවායින් ඉඟි ලබා ගන්නයි. ඒමගින්, විශේෂයෙන් ම අඳුරු පදාර්ථ වශයෙන් සැලකෙන විශ්වයේ නුදුටු පැතිවල තොරතුරු ලබා ගන්නයි.

2010 දී මේ අයිස්කියුබ් තනන්නට පෙරාතුව විද්‍යාඥයන් නිරීක්ෂණය කර තිබුණේ නියුට්රිනෝ 14ක් විතරයි. මේ යෝධ නව උපකරණය, මධ්‍යධරණී ප‍්‍රදේශයේ සවි කර ඇති තවත් දුරේක්ෂකයක් හා එක්ව දැනට නියුට්රිනෝ සිය ගණනක් අනාවරණය කර ගෙන තියෙනවා.

තාම මේ කාර්යය සඳහා හසු වී ඇත්තේ පෘථිවි වායුගෝලයේ තුළ නිර්මාණය වූ ඒවා විතරයි. අයිස්කියුබ් විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා, ඉදිරියේ දී අභ්‍යවකාශයෙන් එන නියුට්රිනෝ හඳුනා ගෙන අනාවරණය කර ගන්න.

‘ඒ නියුට්රිනෝ අපට ඒවායේ ආරම්භය පෙන්වා දේවි’ ඇඩම්ස් අවසාන වශයෙන් කියනවා.

 
අයිස්කියුබ් දුරේක්ෂයෙන් වට වී ඇති අමන්ඩා (කහ පැහැති සිලින්ඩරය) නමැති කුඩා නියුටි‍්‍රනෝ අනාවරකය ඉහළ රූපයේ. වර්ණවත් පැල්ලම්වලින් පෙනෙන්නේ මොඩියුල මගින් නියුටි‍්‍රනෝ ගමන් කරන මග හඳුනා ගත් ආකාරයයි (චිත‍්‍රශිල්පියකුගේ ඇසින්)

මොකක්ද මේ නියුට්රිනෝ කියන්නේ ? අපි ඒවා සොයන්නේ ඇයි?

අපි නියුට්රිනෝස් (neutrinos) ගැන දන්නේ ඉතාමත් ටිකයි. ඒත් විද්‍යාඥයන් විශ්වාස කරනවා, ඒවා තුළ අපේ මේ මන්දාකිණියේ හා කළු කුහරවල උපත ගැන රහස් සැඟවී තියෙනවා කියල.

හෞතික විද්‍යාඥයන් සිතන්නේ ඒවා බිහි වෙන්න ඇත්තේ ඈත අභ්‍යවකාශයේ ඇති වූ ප‍්‍රචණ්ඩකාරී සිදු වීම්වලින් කියලා. ඒවා නම් ගැලැක්සි (මන්දාකිණි) හෝ කළු කුහර එකිනෙක ගැටීම වැනි සංසිද්ධීන් විය හැකියි.

එවැනි ගැටීම්වල දී උපදින ඒවා අභ්‍යවකාශය හරහා අලෝක වර්ෂ බිලියන ගණනක් ඈතට ගමන් කරනවා. ඒ ගමනේ දී චුම්බක ක්ෂේත‍්‍රවල හෝ පරමාණුවල බලපෑම්වලට ඒවා ලක් වෙන්නේ නැහැ. එසේ ම ඒවා කිසිවකට අවශෝෂණය වෙන්නේ නැහැ. ඒ නිසා ඒවා සොයා ගැනීමෙන් විශ්වයේ උපත ගැන නිරන්තරව අසනු ලබන මූලික ප‍්‍රශ්නවලට උත්තර ලබා ගැනීමට අපට හැකි වේවි කියලයි විද්‍යාඥයන් කියන්නෙ.



Post a Comment

0 Comments