ඒ අතුවල යට හරියේ මුහුදු දියේ මෝරෙක් බොහෝ විට ගැවසුණා.
දිනක් වඳුරා ගෙඩියක් කඩා මෝරා ළඟට දැම්මා. මෝරා එය කෑවා. ‘ඒවා හරිම රස යි’ මෝරා කීවා.
”යාළුවේ ඔයාට බොහොම ස්තූතියි” මෝරා වඳුරාට කීවා. ”මුහුදු වතුරේ ඉන්න මට කන්න ලැබෙන්නේ මාළුවන් වැනි සතුන්. ඒ හැරෙන්නට මේ වගේ පලතුරු රස බලන්න ලැබෙන්නේ නෑ. යාළුවා මට දීපු පලතුරු හරි ම රස යි.”
එදා සිට වඳුරා දිනකට පලතුරු ගෙඩි කීපයක් බැගින් මෝරා ළඟට දැම්මා. දවසින් දවස මෝරාගේත් වඳුරාගේත් මේ මිතුරු කම මෝරා වැඩුණා. වඳුරා මුහුදට බර වූ අත්තක හිඳ ඒ අසල මුහුදේ උන් මෝරා සමග කතා කර කර ඉන්නත් පුරුදු වුණා.
”යාළුවා මට හැමදාම පලතුරු දෙනවා, එන්නකො දවසක අපේ ගෙදරත්” දවසක් මෝරා වඳුරාට යෝජනා කළා. ”මගේ සහෝදර සහෝදරියො වඳුරු යාළුවා ගැන මගෙන් අහල දන්නවා. ඒ ගොල්ලනුත් යාළුවව දකින්න ආසාවෙනුයි ඉන්නෙ.” මෝරා කීවා.
”අනේ මම කොහොම ද යන්නෙ? හට පීනන්න බෑ. ඒ වගේ ම සීතල වතුරට හරි ම බයයි” වඳුරා කිව්වා.
”බය වෙන්න එපා යාළුවා. මං එක්ක එන්න. මං ඔයාව පිටේ තියා ගෙන හෙමින් පීනන්නං”
වඳුරා ටිකක් කල්පනා කළා. ‘අද හරි ම රස්නෙ දවසක්. මෙහෙම දවසක දිය පිට යාමත් සුවදායක වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගමන මම ගියාට කමක් නෑ.’ එහෙම හිතල වඳුරා මෝරාගේ ඒ යෝජනාවට කැමති වුණා.
වඳුරා තමන් සිටි අත්තෙන් මෝරාගේ පිට මතට පැන හරිබහිගැහී ඉඳ ගත්තා. මෝරා පිටත් වුණා.
මෝරා පිහිනුවේ හෙමින් නොවෙයි. ඒ නිසා මුල දී වඳුරාට බය හිතුණා. ඒත් ටික දුරක් යන කොට බය නැතුව ගිහින් ගමන විනෝදජනක වුණා.
”යාළුවේ! කොහොම මුහුදු ගමන? මුහුද කැලෑවට වඩා හොඳයි නේද?” මෝරා පීනන අතරතුර ඇහුවා.
”ඔව්, ඒ වුණත් තව හුඟක් දුර යන්න තියෙනවද?” වඳුරා ඇහුවා.
”දැන් ළඟයි” මෝරා කීවා. ”මට යාළුවාට කාරණාවක් කියන්න තියෙනවා. අපේ රජ්ජුරුවෝ තමයි, මුහුදෙ ඉන්න ලොකු ම මෝරා! මේ දවස්වල රජ්ජුරුවන් ඉන්නෙ අසනීපෙන්. අපේ රාජකීය වෛද්‍යවරයා කියල තියෙනවා, ලෙඬේ සනීප වෙන්න නම් වඳුරු හදවතක් කන්න කියලා. වඳුරු හදවතක් සපයන කෙනෙකුට තාන්න මාන්න ලැබෙනවා. ඒකටයි, මං මේ යාළුවව එක්ක යන්නෙ. යාළුවට නො කිය නරක නිසයි, මේ කිව්වෙ.”
වඳුරාගේ ඇස්වල කඳුළු ආවා. ඒත් ඒ කඳුළු මෝරාගේ පිටට වැටෙන්න දුන්නෙ නෑ. වඳුරා මෝරා වෙනසක් පෙන්නුවෙ නෑ.
”ඇයි, යාළුවේ? හදවත ඕනෑ බවක් මට මුලදි නොකීවෙ?” වඳුරා ඇසුවා. ”එහෙම කිව්ව නං මං එන්නෙ හදවතත් අරගෙන නෙ.”
”මොනව! යාළුවා ආවෙ හදවත නැතුව ද?” මෝරා ඇහුවා.
”කොයි වඳුර ද දවාලට හදවත ඇෙඟ් තියා ගෙන ඉන්නෙ? හැම වඳුරෙක් ම දවාලට ගහෙන් ගහට අත්තෙන් අත්තට පනින්නෙ හදවත ලොකු ගහක අත්තක එල්ලල තියලයි! ඒ දුවන පනින කොට හදවත ගැලවිලා විසිවෙන හින්දයි! රෑට තමයි හදවත ඇඟට ගන්නෙ.” වඳුරා කීවා.
”හැබෑද?”
”ඒකවත් දන්නෙ නැද්ද? යාළුවා දැන් රජතුමා ළඟට මාව එක්ක ගියොත්, ‘සාමාන්‍ය දැනීමවත් නැති මෝඩයෙක්’ කියල එතුමා යාළුවට බණීවි, තාන්න මාන්න දීම කොහොම වුනත්” වඳුරා කීවා.
”යාළුවේ, දැන් ආපහු ගහ ළඟට එකක් ගියොත් මට ඒ හදවත ගෙනත් දෙන්න පුළුවන් ද?” මෝරා ඇහුවා.
”මොකද බැරි? මම එල්ලපු අත්තෙන් ලිහාගෙන ඇවිත් දෙන්නම්”
මෝරා ආපසු එන්න හැරුණා.
අතරමඟදී වඳුරා මෝරාට මෙහෙම කිව්වා: ”යාළුවේ ඉක්මන් කරන්න! අමාරු ලෙඩෙකුට බේත් ගේන්න යන කොට ප‍්‍රමාද වෙන්න හොඳ නෑ. ඇරත් රජතුමාගෙ ම අසනීපෙකට”
මෝරා ඉක්මනින් පීනා ඇවිත් වඳුරා සිටි ගහ ළඟට ආවා. වඳුරා හනිකට ගහට පැන ගත්තා.
”ඔහොම ඉන්න යාළුවේ” මෝරාට කියූ වඳුරා ගහේ අතු අතර නොපෙනී ගියා.
මෝරා පැය කීපයක් ම මුහුදේ බලා සිටියා. වඳුරා ආපහු එන පාටක්වත් නැහැ. ‘වඳුරු යාළුවාට හදවත එල්ලූ තැන හොයා ගන්න බැරි වෙලා වත්ද?’ මෝරා කල්පනා කළා.
වඳුරා එන තෙක් බලා ඉඳ තවත් බැරි තැන මෝරා හයියෙන් කෑගහල මෙහෙම ඇහුවා: ”වඳුරු යාළුවේ! වඳුරු යාළුවේ! ඔයාට හදවත සොයා ගන්න බැරි වුනාද?”
වඳුරා මෝරාට පේන හරියේ අත්තකට ආවා. ”මගේ හදවත මගේ මේ ඇෙඟ් නියම තැන තියෙනවා. නපුරු මෝරුන්ගෙ නපුරු මෝර රජ්ජුරුවො ජීවත් කරවන්න මගෙ හදවත කන්න දීල මැරෙන්න තරම් මම මෝඩ නෑ” කී වඳුරා කුණු පලතුරු ගෙඩියක් කඩා මෝරාගේ කට ළඟට දැම්මා.
(සිරිලාල් කොඩිකාර ‘අපි‍්‍රකානු ජනකතා’ සංග‍්‍රහයේ පළ වූ කතාවක් ඇසුරෙනි.)
6 Comments
ලස්සන කතාවක්. මතක තියාගෙන ඉදලා පොඩි අයට කියලා දෙනවද? නැත්තං පොඩි උන් වටකරගෙන ලැප් එක දිග ඇරගෙනම කියලා දෙනවද කියලා කල්පනා කලේ.....
ReplyDeleteස්තුතියි මල් කැකුලු!
Good one!!
ReplyDeleteමම ඔය කථාවේ 'කිඹුලා' ඉන්න එක අහලා තියෙනවා. ඒත් අදයි දන්නෙ මේක අප්‍රිකානු ජනකතාවක් කියලා.
ReplyDeleteniyama kathawa :)
ReplyDelete+1 බුද්ධි !!!
ReplyDeleteමිත්‍ර ද්‍රෝහී බොරුකාරයට හොඳ වැඩේ :D
ReplyDelete