යුද්ධය කියන්නේ අපට නුහුරු දෙයක් නොවේ. නොයෙක් නොයෙක් හේතූන් නිසා යුද්ධ ඇති වෙනවා. ආගම වෙනුවෙන් එහෙම නැතිනම් දෙවියන්ගේ කැමැත්තට අනුව සිදුවූ යුද්ධයක් තියෙනවා. ඒ තමයි, කුරුස යුද්ධය එහෙම නැතිනම් කෲසේඞ් කියන්නේ.
ජෙරුසලම නගරය වසර ගණනාවක් තිස්සේ යුරෝපය පුරා විසූ කිතුනු බැතිමතුන්ගේ පූජා භූමියක්. 11 වන ශතවර්ෂයේදී ජෙරුසලමේ පාලනය මුස්ලිම් බැතිමතුන් වන ටර්ක්වරුන්ගේ අතට පත් වුණා. යුරෝපයෙන් පැමිණෙන කිතුනු බැතිමතුන්ට ඔවුන් වරින් වර පහර දෙන්න පටන් ගත්තා. මේ නිසා 1095 වසරේදී 2 වැනි අර්බන් පාප්තුමා ටර්ක් මුස්ලිම්වරුන්ට එරෙහිව ශුද්ධ යුද්ධයක් කැඳෙවුවා. එහි අරමුණ වූයේ කිතුනු බැතිමතුන් සඳහා ජෙරුසලම මුස්ලිම් ටර්ක්වරුන්ගෙන් මුදවා ගැනීමයි. මෙම යුද්ධය තමයි පළමු කුරුස යුද්ධය, එහෙම නැතිනම් ශුද්ධ යුද්ධය ලෙස හැඳින්වෙන්නේ. මීළඟ සියවස් දෙක කුළ මේ ආකාරයේ ශුද්ධ යුද්ධ මාලාවක් සිදු වුණා. කි‍්‍රස්තියානුවන් යුද්ධ කර ජෙරුසලම හා ඩැමැස්කස් යන නගර අල්ලා ගත්තා. ඊළඟට මුස්ලිම් ටර්ක්වරු සටන් කර නැවත ඒ නගර අල්ලා ගත්තා. මේ විදියට කුරුස යුද්ධ ගණනාවක් ඇති වුණා. අන්තිමේදී අවසන් වතාවට කුරුස යුද්ධයට ගිය හමුදාවලට ශුද්ධ වූ දේශයට පසු බහින්න වුණා. ශුද්ධ වූ දේශය කියලා එදා හැඳින්වූයේ පලස්තීනයයි. අද මේ ප‍්‍රදේශයේ තමයි ඊශ‍්‍රායලය කියල හැඳින්වෙන්නේ. ප‍්‍රධාන වශයෙන් කුරුස යුද්ධ 4 ක් සිදුවී තියෙනවා.
කුරුස යුද්ධ 4
පළමු වන කුරුස යුද්ධය (1096-99) - මුල් ම කුරුස යුද්ධයේ දී කිතුනු සටන්කාමීන් යුරෝපය හරහා දිගු ගමනක් ගෙවා පැමිණ ඇන්ටියොක් හා ජෙරුසලම අල්ලා ගත්තා. ඒ සමග ම අවට ප‍්‍රදේශ සියල්ල ඔවුන් සතු කර ගත්තා.
දෙ වන කුරුස යුද්ධය (1147-49) - මුල් ම කුරුස යුද්ධයෙන් ලද පරාජයෙන් පසු මුස්ලිම්වරුන් යළි එක්සත් වී ඒ වන විට පෙරදිග පදිංචිව සිටි කිතුනුවන්ට පහර දුන්නා. ඔවුන් ඩැමැස්කස් නගරය අල්ලා ගත්තා. නව ප‍්‍රංශ හා ජර්මන් කුරුස යුදකරුවන් සම්පූර්ණයෙන් ම වනසා දැම්මා.
තෙ වන කුරුස යුද්ධය (1189-92) - කි‍්‍ර.ව. 1187 දී මහා සලාදීන් අධිරාජයා ජෙරුසලම ආක‍්‍රමණය කළා. මෙහි දී එංගලන්තයෙන්, ප‍්‍රංශයෙන් හා ශුද්ධ රෝම අධිරාජ්‍යයෙන් පැමිණි කුරුස යුදකරුවන් ප‍්‍රතිප‍්‍රහාර දුන්නත් ඔවුන් ආපසු අල්ලා ගත හැකි වූයේ අක‍්‍රා නගරය පමණයි.
හතර වන කුරුස යුද්ධය (1202-1204) - පාප්තුමාගේ ඉල්ලීම මත යළි සටනට බසින්නට තීරණය කළ කුරුස යුදකරුවන් කොන්ස්තන්තිනෝපල්වලට නැව්වලින් ආවා. ඒ නගරය කොල්ලකා ෆ්ලෑන්ඩර්ස්හී බෝල්ඞ්වින් එහි අධිරාජයා ලෙස පත් කළා. ඔවුන් ශුද්ධ දේශය තෙක් ගියේ නැහැ.
ළමුන්ගේ කුරුස යුද්ධය
1212 වසරේදී දහස් ගණනක් ළමයින් රයින්ලෑන්ඞ් සිට මධ්‍යධරණී මුහුද දක්වා පා ගමනක යෙදුණා. ඇණ කොටා ගනිමින් සටන් නොකළත් ආගම වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කිරීම නිසා ළමුන්ගේ කුරුස යුද්ධය කියා මෙය හැඳින්වෙනවා. ළමයින් හුඟ දෙනෙක් මෙම පා ගමනේදී කෑම නැතිවත් ලෙඩ රෝගවලට ගොදුරුවීමෙනුත් මියගියා. සමහරුන්ව මුස්ලිම් ටර්ක්වරුන්ට හසුවුණා. එම ළමයින් වහල්කමට විකුණනු ලැබුවා.
කුරුස යුදකරුවන්ට හැම වර්ගයක ම ජනයා ඇතුළත් වුණා. ඒ අය අතර මුල් ම කුරුස යුද්ධයට එක් වූ දුප්පත් වන්දනාකරුවන් ද සිටියා. පීටර් තාපසයා යනුවෙන් හැඳින්වුණු කි‍්‍රස්තියානු ආගමික දේශකයාගේ මෙහෙයීම මත ඒ අය මේ යුද්ධයට එක් වූයේ ආගම් භක්තිය පෙරදැරි කර ගෙන අතට අසුවුණු හැම අවියක් ම අර ගෙනයි. එහෙම නැතිව නියම විදියට සන්නද්ධ වෙලා නෙවෙයි. ඒ සමග සටනට හොඳින් සැරසුණු අසුන් පිට පැමිණි නයිට්වරුන් ද ඔවුන් සමග සටන් වැදුණා. ඒ අය හොඳින් සන්නද්ධවෙලයි හිටියේ. ඒ අය සමග දහස් ගණනක පාබල හමුදාවක් ද සිටියා. සෙල්යුක් තුර්කිවරුන්ට එරෙහිව සාර්ථකව සටන් වැදුණේ හොඳින් සන්නද්ධ වූ සොල්දාදුවන් විතරයි.
බටහිර යුරෝපයේ සිට සිරියාව හා පලස්තීනය තෙක් ගමන් මාර්ගය අති දුෂ්කර එකක් වුණා. ශුද්ධ දේශයට ගිය මේ ගමනට එක් වූ සංචාරකයන්ගෙන් වැඩි දෙනෙකුට ශුද්ධ දේශයට ළඟා වන්නට හැකි වුණේ නැහැ. අතරමඟ දී ලෙඩරෝගවලින් හා සාගින්නෙන් මියයාමට ඔවුන්ට සිදුවුණා. මුහුදෙන් ගිය අය වැනීසිය, ජිනෝවා වැනි නගරවලට පැමිණ නැව් නැග්ගා. ඒත් මුහුදු මාර්ගයත් එතරම්ම ආරක්ෂා සහිත වුණේ නැහැ. ශුද්ධ රෝම අධිරාජයා වූ පළමු වන ෆ්‍රෙඞ්රික් රජතුමාට මුහුදේ ගිලී මිය යන්නට සිදු වුණා. ඒ තුන්වන කුරුස යුද්ධය මෙහෙයවද්දීයි.
හමුදාවලට නිසි ලෙස අණ දී මෙහෙයවීම පටන් ගත්තේ 12 වන සියවසේ දියි. ඒ හමුදා මෙහෙයෙව්වේ ආගමික ජීවිතයකට කැපවීමට දිව්රා සිටි කි‍්‍රස්තියානි පූජකවරුන්. ඒ අය වෙනත් පූජකයන් මෙන් නොව අවි දරා ගෙන මුස්ලිම්වරුන්ට එරෙහිව සටන් කළා. මේ පූජක පිරිස අතර ශාන්ත ජෝන් හා ටෙම්ප්ලර් නයිට්වරුන් මෙන් ම ජර්මන් නයිට්වරුන් ද කැපී පෙනුණා.
ශාන්ත ජෝන් නයිට්වරුන් තමයි, කුරුස යුද්ධවල දී තුවාලකරුවන්ට හා අතරමගදී රෝගී වන වන්දනාකරුවන්ට ප‍්‍රතිකාර කළේ. කල්යාමේ දී මේ අය මෝල්ටාවේ පදිංචිව ආගම වෙනුවෙන් කළ සටන දිගට ම ගෙන ගියා.
ටෙම්ප්ලර්වරුන් මුලින් ම කළේ ශුද්ධ දේශයට වන්දනාවේ ගිය කිතුනු බැතිමතුන්ට රැකවරණ සැලසීමයි. මේ පිරිස 1118 දී ශුද්ධ දේශයේ එනම් ජෙරුසලමෙ මහ දේවස්ථානය අසල රඳවනු ලැබුවා. ඔවුන් පසුව ටෙම්ප්ලර් නමින් ආගමික නිකායක් බවට පත් වුණා.
මේ කුරුස යුදකරුවන් නිසා බටහිරත් පෙරදිගත් අතර වැඩි සම්බන්ධයක් ඇති වුණා. මෙය ඉස්ලාමීය විද්‍යාවන් හා තාක්ෂණයන් බටහිරට ගෙන යාමට පිටිවහලක් වුණා. බටහිර වෛද්‍ය විද්‍යාව හා වාස්තු විද්‍යාව වැඩි දියුණු වූයේ මේ හේතුවෙන්. ස්පාඤ්ඤයේ පදිංචිව සිටි මුස්ලිම්වරුන්ගේ සහයත් මේ සඳහා එක්තරා දුරකට පිහිට වුණා.
ඉස්ලාමික වෙදකම ඉතා දියුණු තත්වයක තිබුණා. විශේෂයෙන් ම අරාබි වෛද්‍යවරයකු වූ අවිසෙන්නාගේ හෝ ඉබන්සිනාගේ ලේඛන මේ අතින් කැපී පෙනුණා. ඖෂධ වශයෙන් ශාක සාර භාවිතයත්, ආසාදනයන් සඳහා කළුවැල්, අගිල් වැනි ඔසු භාවිතයත්, පපුවේ හා උගුරේ ආබාධවලට බාම්වර්ග භාවිතයත් බටහිර වෙදකමට එක් වූයේ ඒ අනුවයි.
ධාන්‍ය පිටි කිරීම සඳහා සුළං මෝල් භාවිතය පෙරදිග මධ්‍යධරණී ප‍්‍රදේශයේ තමයි වැඩිපුර ම තිබුණේ. මේ අදහස යුරෝපයට ගෙන ගියේ කුරුස යුදකරුවන් විසින් බවයි කියවන්නේ. මුල් ම යුරෝපීය සුළං මෝල පිහිටුවන ලද්දේ 1180 දී ප‍්‍රංශයේ දීයි.
සලාදීන් සහ පළමු වන රිචඞ් රජු
සලාදීන් අධිරාජයා
සලාදීන් අධිරාජයා තමයි 1138 සහ 1193 දක්වා කාලයේ සිරියාවත් උතුරු අප‍්‍රිකාවේ කොටස් කිහිපයකුත් පාලනය කළේ. 1187 වසරේදී කිතුනු හමුදා ජෙරුසලමෙන් පලවා හරින්න ඔහු සමත් වුණා. ඊට පස්සේ පලස්තීනය (දැන් හැඳින්වෙන්නේ ඊශ‍්‍රායලය කියලයි) වසර ගණනාවක් පාලනය කළා.
එංගලන්තයේ පළමු වන රිචඞ් රජු
එංගලන්තයේ පළමු වන රිචඞ් රජු තමයි කිතුනු හමුදාවලට නායකත්වය දුන්නේ. පළමු වන රිචඞ් රජ්ජුරුවෝ සිංහයෙක් වගේ නිර්භීතයි. ඒ නිසා ඔහුව හැඳින්නුවේ ‘ලයන්හාට්’ කියලයි. පළමු රිචඞ් රජ්ජුරුවෝ ඔහුගේ පාලන කාලයෙන් (1187-1199) වැඩි හරියක් ගත කළේ එංගලන්තයෙන් පිට විදේශ රටවලයි. තෙවැනි කුරුස යුද්ධයේදී විශාල ජයග‍්‍රහණයක් ලැබුණත් ජෙරුසලම අල්ලා ගැනීමට හැකිවූයේ නැහැ. කුරුස යුද්ධයෙන් පස්සේ ඔහුව සිරගත කරනු ලැබුවා. ඔහු වෙනුවෙන් කප්පම් ගැනීම් ද සිදු වුණා. රිචඞ් ද ලයන්හාට් රජ්ජුරුවෝ ඔහුගේ අවසන් කාලය ගත කළේ ප‍්‍රංශයේය.
5 Comments
ඔන්න ඔහොමයි ආගමක් හැටි.
ReplyDeleteඔය ලයන් හාට් ගොයිය නේද අර රොබින් හුඩ්ගෙ ටීම් එකම උස්සලා පොළොවෙ ගහන්නේ... ;-)
ReplyDeleteඔව් නේද ?
Deleteනියමයි
ReplyDeleteවටිනා තොරතුරු ...
ReplyDelete