එදා අන්දරේ රජවාසලට යන විට රජතුමා ඇමතිවරුන් සමග උයනේ ඇවිදින්න ගිහින්. රජතුමා ගියේ මඟුලැතා පිටින්. අන්දරේ වාසලට එන කොටම රජතුමා උයන්සිරි විඳින්නට ගිය බවත් අන්දරේට උයනට එන්න අණ කළ බවත් රජවාසල සේවකයකු කීවා
අන්දරේ ඉක්මනින් ඉක්මනින් ගියා රජතුමාව සොයා ගෙන. අන්දරේ උයනට යන කොට රජතුමා දෙපස රූස්ස ගස් තියෙන පාරක මඟුලැතා පිටින් යනව. අන්දරේ තමා එන බව රජතුමා දුටු බව දැකල ටිකක් තිගැස්සුණා. ඔහු හෙමින් හෙමින් ඇතු අසලට කිට්ටු කළා. අන්දරේ හිතුවෙ රජතුමා උදහස් වෙලා ඇති කියලයි. ඒත් එහෙම ගතියක් රජතුමාගේ මුහුණේ තිබුණෙ නැහැ. රජතුමා හොඳ සිනහමුසු මුහුණින් හිටියා.
අන්දරේ එනව දැකල ඇතා පිට හිටි රජතුමා තමන්ගෙ මුහුණෙ ගෑවුණු ගහක අත්තකින් කොළ මිටක් කඩා ගෙන ඇතා අසලින් ගමන් කරමින් සිටිය ඇමතිවරුන්ට දීලා මෙහෙම කිව්වා:
”ඇමතියනි, මේ කොළ උරුලෑ ගඳයි නේද? මේ ඉඹලා බලාපල්ලා” රජු කිව්වා.
රජතුමා දුන් නිසා ඊට විරුද්ධව කිසිවක් කියා ගත නොහැකි වූ ඇමතිවරුන් එකිනෙකා ඒ කොළ මිට නැහැයට ළං කර බලා, ”එහෙමයි, දේවයන් වහන්ස, මේ කොළ උරුලෑ ගඳ තමයි.” කියා කීවා.
ඒ එක්කම රජතුමා අන්දරේ දෙසට හැරුණා. හැරිලා මෙහෙම කීවා: ”අන්දරේ, මොකද කියන්නේ මේ කොළ උරුලෑ ගඳයි නේද? උඹටත් උරුලෑ ගඳ දැනෙනවද බලපන්”
අද කාලේ ඇමතිවරුන් වගේ ම එදා ඇමතිවරුනුත් කළේ රජතුමා උදහස් වෙයි කියන බයට එතුමා සතුටු කරන්න බොරු කීමයි. ඇමතිවරුන් බොරු කියන බව අන්දරේට එක්වරම තේරුණා. ඒත් අන්දරේ රජතුමාව බොරු කියල සතුටු කරන්න කැමති වුණේ නැහැ. ඒ හින්ද ඒ කොළ ඉඹලා බැලූවෙත් නැහැ. ඒ වෙනුවට මෙන්න මේ කවිය කිව්වා:
රැළියට දිය රැගෙන යන තෙප්පම ලූද්ද
නිරිඳුට අනුව පවසති බොරු කර සුද්ද
කෙළියට නමුත් කී කල බොරු පව් නැද්ද
ඇතකුට උඩින් යන උරුලෑවෝ ඇද්ද
අන්දරේ රජතුමාව ඇතා පිට යන උරුලෑවාට සමාන කර විහිලූ කළත් රජතුමා ඊට උදහස් වුණේ නෑ. ඒ වෙනුවට අන්දරේගේ අදහස අනුමත කරලා ප‍්‍රශංසා කළා. ඇමතිවරුන්ට තමා රවටන්න බොරු කිව්වාට දොස් කීවා.
0 Comments