එකමත් එක කාලෙක ලොකු අනුගාමික පිරිසක් සිටි සාධු වරයෙක් සිටියා. ඒ වගේ ම බොහෝ සතුරු පිරිසක් ද ඒ සාධුවරයාට සිටියා.
ඔහුගේ සතුරන් ඔහු නසනු පිණිස නොයෙක් උපා යෙදුවා. ඕනෑම කෙනෙකුට ඔහුගේ නිවසට ඇතුළුව නිදහසේ ඇවිදීමට ඉඩ හැර තිබෙන බව සතුරන්ට දැන ගන්නට ලැබුණා. ඔවුන් ඒ සාධුවරයා නසන්නට සිතා ඇපල් ගෙඩිවලට වස දමා කාමරයක් කාමරයක් පාසා තැන තැන දැමුවා.
මේ උපක‍්‍රමය කීපවතාවක් ම කළත් මාස කීපයකට පසුත් සතුරන් මවිතයට පත් වූයේ සාධුවරයා ජීවතුන් අතර සිටිනු දකින්නට ලැබීම ගැනයි.
මේ නිසා ඇතැම් අය ඔහු සාන්තුවරයෙකැයි කිව්වා. ඔහුට සියුම් දේ ගැන, සැඟවුණු දේ ගැන, ගුප්ත දේ ගැන දැන ගැනීමේ ශක්තියක් ඇතැයි ඔවුන් තීරණය කළා. ඔහුට හැම දේ ගැනම නිවැරදි දැනීමක් ඇතැයි ඔවුන් විශ්වාස කළා. ඒ වස දැමූ ඇපල් මඟ හැරීමට හෝ අනතුරක් නැතිව ඒවා කෑමට හෝ ඔහුට හැකියාව ලැබුණේ ඔහු සතු ඒ ශක්තිය නිසා යයි ඔවුන් පිළිගත්තා.
ඔවුන් ඔහු සොයා ගොස් දණින් වැටී මෙසේ ආයාචනය කළා. ‘අපට හැඟී ගිහින් තියෙනවා ඔබ තුමා ශාන්තුවරයෙක් බව. අපට ඔබ තුමාගේ ගෝලයන් වීමට අවසර දෙන්න.’
‘මං සාන්තුවරයෙක්ය කිය ඔබලා හිතන හේතුව මට නං අල්ලන්නෙ නෑ. ඔබලා ඇත්තට ම මගේ ගෝලයන් වෙන්න උනන්දුවක් දක්වනවා නම් මං කියන්න කැමතියි, ඔහෙලා මාව මරන්න හදපු උපායෙන් මං බේරුණේ ගෙයි තැනින් තැන වැටිල තියෙන පලතුරු මං ආහාරයට නොගන්න නිසයි.’ සාධුවරයා පිළිතුරු වශයෙන් කීවා.
(පර්සි ජයමාන්නගේ ‘සූෆි උපමා කතා’ නම් ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 1990)
0 Comments