HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

හාවා ගේ වග: හා හා හරි හාවා

බොහෝ විට නිර්මාණ සඳහා යොදා ගත්තේ ළමයින්ගේ සිත් ඇදගන්නා සුරතල් සතුන් ය. එයින් හාවාට හා ලේනාට ලැබෙන්නේ සුවිශේෂ තැනකි. කුමාරතුංග මුනිදාස, ඇස්. මහින්ද හිමියන්, කේ.ජී. පෙරේරා, කරුණාරත්න අබේසේකර ආදී හැම ළමා පද්‍ය නිර්මාණකරුවකුම හාවා ගාවා ගත් අත්දැකීම් අපේ ළමා පරපුරට දායාද කොට තිබේ. හාවා යෙදා ගෙන කළ ඒ නිර්මාණ අතරින් වඩාත් කැපී පෙනෙන නිර්මාණය වන්නේ කුමාරතුංග මුනිදාසගේ ‘හාවා ගේ වග’ නම් පැදි පෙළයි. එය ඔහුගේ ‘කියවන නුවණ’ පළමු පොතෙහි පළමුවෙන් ම පළ විය.

1. හා හා හරි       හාවා
    කැලේ මැදින්    ආවා
    හිට ගෙන ගඟ   ගාවා
    වට පිට ඇහැ    ලෑවා

2. කොළ දෙ කටක් කෑවා
    පැන් උගුරක්      බීවා
    තොල කට ලෙව කෑවා
    ඉතින් ඇතැයි     කීවා

3. තබා නිකට       ගාවා
    වීණාවක්          ගෑවා
    මිහිරි සින්දු        කීවා
    නැටුම් ටිකක්     පෑවා

4. එයින් වෙහෙස    වූවා
    ඉඳ-ගෙන හති    ලෑවා
    තණ බිස්සේ      බාවා
    ඇඟපත      සැතැපූවා

5. බිරුම් හඬක්      ආවා
    ඉහළ වීසි          වූවා
    කොඳු ඇට හිට    වූවා
    කන් දෙක දිග    පෑවා

6. බිරීම ළං          වූවා
    කඳ හරහට       බාවා
    පතර පයට       පාවා
    දීලා ‘යමු’        කීවා

7. පඳුරු උඩින්    බෝවා
    විදිලි කෙටිලි     පෑවා
    කොළ සර බර   ගෑවා
    බිරූ කටත්       ආවා

8. බිරීම         නැවතූවා
    නාසය බිම       ගෑවා
    ඇහින් රැුහැන්    ලෑවා
    කොයිද කොයි ද හාවා


මේ පැදි පෙළ ළමයා ඉදිරියේ එම සිදු වීම චිත‍්‍රයක් සේ මවා පෑමට සමත් අති විශිෂ්ට නිර්මාණයකි. හාවා කැළේ මැදින් මතු වන හැටි, ඌ ගඟ ළඟ ගත කළ හැටි, එක් වරම හඬක් ආ හැටි, ඉන් පසු ඌ හැසුරුණු හැටි කවියා චිත‍්‍රණය කරන අන්දම අපූරුය. කෙටි විරිත නිසා ඉන් නැෙඟන හඬින් හාවාගේ චලනය හා එහි රිද්මය ද අපට දැනෙයි; එසේ ම පෙනෙයි. හාවාත්, මෙය කියවන අපත් මොහොතකට සැනසීමක් ලබන අතර එක් වරම බිරුම් හඬක් එයි. හාවාගේ සැනසීම නැති වෙයි. අපට ද එසේ ම ය. බිරුම් හඬ කාගේ දැයි නොකියයි. ඒත් එය ඇඟවෙයි. හාවා සැණෙකින් පැන යයි. බිරුම් ‘කට’ පඳුරු අස්සේ කොළ අතරින් මතු වෙයි. කුමරතුඟුවන්ගේ අසමසම කවි කුසලතාව පුංචි වුනත් මේ කවි අටෙන් පෙනේ. දරුවන්ගේ නිර්මාණ ශක්තිය අවුස්සන ගතියක්, කවි තනන්නට ළමුන් පොලඹවන ගුණයක් එහි දැකිය හැකිය. මෙය එදා පළමු වන පන්තියේ (අද 2 ශ්‍රේණියේ) දරුවන්ට කුමරතුඟුවන් තිළිණ කළ පාඩමෙකි. එයින් ළමයාගේ ඥාන මණ්ඩලය කෙතරම් පුළුල් වේද යන්න ඒ සඳහා යොදා ඇති පහත දැක්වෙන ඇබෑසියේ එන ප‍්‍රශ්නාවලියෙන් මනාවට පසක් වෙයි.

ඇබෑසිය:
    1. කොයින් ආවා ද හාවා?
    2. ගඟ ළඟ කුමක් කළා ද?
    3. වීණාව කුමකට ද?
    4. ඇයි හති ලෑවේ?
    5. ඇඟ බෑවුවේ කුමට?
    6. කොයින් ද බිරුම ආවේ?
    7. එයින් වූයේ කිම?
    8. කුමක් කළා ද හාවා?
    9. බිරීම ටිකින් ටික කොහිද ඇසෙන්නට වූයේ?
    10. හාවා කුමක් කළා ද එ විට?
    11. පඳුරු උඩින් විදිලි කෙටිලි පෙනුණේ ඇයි?
    12. කොළ කුමක් කළා ද?
    13. ඇයි කොළ එ සේ කළේ?
    14. කුමක් ආවා ද?
    15. බිරූ කට ආයේ කෙසේ ද?
    16. ආ සතා කුමක් කළා ද?
    17. ඇයි බිරීම නැවැතුවේ?
    18. නාසය බිම ගෑයේ කුමට ද?
    19. කෙසේ ද ඇහින් රැහැන් ලන්නේ?

මේ පැන ගැන ළමයාගේ අවධානය යොමු වූ පසු, ඔහු එතෙක් නො දත් බොහෝ දෑ දත්තකු වෙයි. මේ ප‍්‍රශ්නවලට පිළිතුරු සොයන ළමයාගේ දැනුම පුළුල් වනවා පමණක් නොව මෙය රස විඳින ළමයකු කවියකු වීම ද පුදුමයක් නොවේ.

මේ පැදි පෙළ වෙනත් නිර්මාණ රැසකටද මඟ පාදා ඇති බව නොරහසකි. ඉන් ජනපි‍්‍රය ගීත කීපයක් බිහිවූවා පමණක් නොව එයින් පැදි කීපයක් ටයිටස් තොටවත්ත සූරීන් විදෙස් කාටූන් පටයක් වර්ණවත් කිරීමටද යොදා ගෙන තිබේ.

- පර්සි ජයමාන්න

Post a Comment

0 Comments